ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි කියා සිටියේ මෙම යුද්ධය ඉදිරි ශීත සෘතුව දක්වාම ඇදී යා හැකි බවයි. මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසුව මෙම නියෝජිතයන් කීව් වෙත පැමිණි අතර, එහිදී ඔවුන් දෙපාර්ශවය අතර පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට උත්සාහ කළා. කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලින් ක්ෂණික විසඳුමක් හෝ විශාල පෙරළියක් සිදු නොවූ බවයි වාර්තා වෙන්නේ.
සෙලෙන්ස්කි අවධාරණය කළේ තමන්ට අවශ්‍ය වන්නේ රුසියාවට නැවත ආක්‍රමණයක් කිරීමට ඉඩක් නොලැබෙන සාධාරණ සාමයක් බවයි. යුද්ධය ශීත සෘතුව දක්වා දිගු වුවහොත්, යුක්රේනයට දැඩි ලෙස බලශක්ති සහාය සහ ගුවන් ආරක්ෂක පද්ධති අවශ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නා. විශේෂයෙන්ම රුසියාව ශීත කාලයේදී යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බැවින්, ඇමරිකාවේ සහාය තමන්ට ඉතා වැදගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඉදිරියේදී යුක්රේනය, ඇමරිකාව සහ යුරෝපීය නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත අතර, රුසියාව සහ ඇමරිකාව සමඟ ත්‍රෛපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමටද සෙලෙන්ස්කි යෝජනා කර තිබෙනවා.
මේ අතර, දෙපාර්ශවයම සාම සාකච්ඡා සඳහා උනන්දුවක් දක්වන බව ඇමරිකානු නියෝජිතයන් ප්‍රකාශ කළත්, බිම් මට්ටමේ ගැටුම් තවමත් නතර වී නැහැ. පසුගිය දිනවලදී රුසියාව විසින් ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර මාලාවක් යුක්රේනය වෙත එල්ල කළ අතර, යුක්රේනයද රුසියානු ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා හරහා කල් පවත්නා සාමයක් ගොඩනගා ගැනීමට හැකි වේවිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback