සැම්බියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද උදෑසන ආරම්භ වුණා. මේ සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන අටකට වැඩියි. අප්‍රිකාවේ වඩාත්ම ස්ථාවර ප්රජාතන්ත්රවාදී රටක් ලෙස සැලකෙන සැම්බියාවේ දේශපාලන නිදහස සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පවතින පසුබිමකයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම රටේ පවතින විරැකියාව සහ ජීවන වියදම ඉහළ යාම ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කර තිබෙනවා. අද අලුයම සිටම ලුසාකා අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක ඡන්ද මධ්‍යස්ථාන අසල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගන්න පුළුවන් වුණා.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දාහතර දෙනෙක් තරඟ වදිනවා. නමුත් ප්‍රධාන සටන පවතින්නේ වත්මන් ජනාධිපති හකයින්දේ හිචිලේමා සහ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන බ්‍රයන් මුන්ඩුබිලේ අතරයි. හිචිලේමා රටේ ආර්ථිකය යම් මට්ටමකට ගොඩගැනීමට උත්සාහ කළත්, තවමත් ජීවන වියදම ඉහළ මට්ටමක පැවතීම ජනතාවගේ නොසතුටට හේතු වෙලා. ඒ වගේම හිටපු ජනාධිපති එඩ්ගා ලුන්ගුගේ දේහය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වයත් මේ මැතිවරණයට විශාල බලපෑමක් කර තිබෙනවා. ජයග්‍රහණය සඳහා අපේක්ෂකයෙකුට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු අතර, එසේ නොවුණහොත් දෙවන වටයේ ඡන්ද විමසීමකට යාමට සිදුවනු ඇති.
ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි තරුණ තරුණියන් පවසන්නේ රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් තමන් මේ මැතිවරණයට සහභාගී වන බවයි. ඇතැම් පිරිස් වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අගය කරන අතර, තවත් පිරිසක් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නව නායකත්වයක් අවශ්‍ය බව පවසනවා. කෙසේ වෙතත්, සැම්බියාවේ අනාගතය තීරණය කරන මෙම මැතිවරණය ඉතා තීරණාත්මක එකක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback