ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන යාපනය කිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්රීඩක සහීර් ඛාන් ප්රමුඛ ස්ටොක්හෝම් නුවර පදනම් කරගත් ‘ඇන්කර් ස්පෝර්ට්ස් ඒබී’ (Anchor Sports AB) ආයතනය විසින් මිලදී ගෙන තිබෙනවා. මින් ඉදිරියට මෙම කණ්ඩායම ‘ඇන්කර් යාපනය කිංග්ස්’ ලෙස හඳුන්වන අතර, පසුගිය කාලයේ පැවති පරිපාලනමය ගැටලු සහ කණ්ඩායමේ හිටපු හිමිකරුවන් සම්බන්ධයෙන් මතුවූ මතභේදාත්මක තත්ත්වයන්ගෙන් පසුව මෙම වෙනස සිදුවීම විශේෂත්වයක්. ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ තරගාවලියේ අයිතිකරුවන් වන IPG ආයතනය යටතේ පැවති මෙම කණ්ඩායම, නව හිමිකාරිත්වය යටතේ යළිත් ශක්තිමත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම නව ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සහීර් ඛාන් පවසා සිටියේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන තමන් ඉතාමත් සතුටු වන බවයි. ශ්රී ලංකාවේ පන්දු යවන්නන්ගේ දක්ෂතා තමන් සැමවිටම අගය කරන බවත්, තරුණ ක්රීඩකයන්ට මගපෙන්වීමක් ලබා දෙමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. LPL තරගාවලියේ අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසන්නේ සහීර් ඛාන් වැනි අත්දැකීම් බහුල ක්රීඩකයෙකුගේ පැමිණීම ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට විශාල ශක්තියක් වනු ඇති බවයි. යාපනය කිංග්ස් කණ්ඩායම දැනටමත් LPL ඉතිහාසයේ වැඩිම වතාවක් ශූරතාව දිනාගත් කණ්ඩායම ලෙස පෙරමුණේ පසුවන නිසා, මෙම නව වෙනසත් සමඟ ඔවුන්ගේ ඉදිරි ගමන තවත් සාර්ථක වනු ඇතැයි ක්රිකට් ලෝලීන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback