එලොන් මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය වේදිකාව මේ දිනවල ඔවුන්ගේ ආදායම් බෙදාගැනීමේ වැඩසටහනේ විශාල වෙනසක් සිදු කරන්න සූදානම් වෙනවා. දැනට ක්‍රියාත්මක වන පැරණි ආදායම් බෙදාගැනීමේ ක්‍රමය අහෝසි කරලා, ඒ වෙනුවට ‘Original Content Rewards’ නමින් අලුත් වැඩසටහනක් හඳුන්වා දෙන්න තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ. මේ වෙනසත් එක්ක සැප්තැම්බර් 7 වෙනිදායින් පස්සේ පැරණි ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. සැප්තැම්බර් 8 වෙනිදා ඉඳන් අලුත් වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමති අයට අයදුම් කරන්න පුළුවන්.
මේ අලුත් ක්‍රමය යටතේ මුදල් උපයන්න නම් ඔබ අනිවාර්යයෙන්ම X Premium සාමාජිකයෙක් වෙන්න ඕනේ. ඒ වගේම අවම වශයෙන් සත්‍යාපිත අනුගාමිකයන් 500ක් සහ දින 90ක් ඇතුළත සත්‍යාපිත පරිශීලකයන්ගෙන් ලැබුණු ඉම්ප්‍රෙෂන්ස් ලක්ෂ 5ක් තිබීම අනිවාර්යයි. මෙතනදී වැදගත්ම දේ තමයි ඔබ පළ කරන අන්තර්ගතයේ තියෙන ‘මූලිකත්වය’ හෙවත් ඔරිජිනලිටි එක. වෙනත් අයගේ දේවල් කොපි කරලා දාන අයට වඩා තමන්ම නිර්මාණය කරන වීඩියෝ, ඡායාරූප, සහ තමන්ගේම අදහස් පළ කරන අයට තමයි මෙතනදී වැඩි අවස්ථාවක් ලැබෙන්නේ.
X සමාගම කියන විදිහට, කලින් තිබුණු ක්රමයේ තිබුණු අඩුපාඩු නිසා නිර්මාණකරුවන් මුදල් පසුපසම හඹා යාම සිද්ධ වුණා. ඒ නිසා අලුත් වැඩසටහන හරහා ඇත්තටම අලුත් දේවල් නිර්මාණය කරන අයට වැඩි වටිනාකමක් දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබත් X හරහා මුදල් උපයන කෙනෙක් නම්, අනිත් අයගේ දේවල් කොපි කරන්නේ නැතුව තමන්ගේම නිර්මාණවලට වැඩි අවධානයක් දෙන්න දැන් කාලය ඇවිත් තියෙනවා.

Discussion & Feedback