නාසා ආයතනයේ චන්ද්රා එක්ස්-රේ දුරේක්ෂය භාවිත කරමින් තාරකා විද්යාඥයන් පිරිසක් විශ්වයේ ඉතාමත් පැරණි ක්වේසාර් (Quasar) එකකින් පිටවන අතිශය උණුසුම් වායු ධාරාවක් සොයාගෙන තියෙනවා. මේ වායු ධාරාවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 36ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මීට වසර බිලියන 2.1කට පෙර පැවති මේ ක්වේසාර් එක, MQN01 නමින් හැඳින්වෙන ගැලැක්සි පොකුරක් නිර්මාණය වෙමින් පවතින මධ්යස්ථානයේ පිහිටා තිබෙනවා. මේ සොයාගැනීම මගින් ගැලැක්සි පොකුරු වටා ඇති වායුගෝලයන් කොහොමද මුලින්ම නිර්මාණය වුණේ කියන එක ගැන අපිට අලුත් අවබෝධයක් ලැබෙනවා.
සාමාන්යයෙන් මෙවැනි එක්ස්-රේ විමෝචනයන් දකින්න ලැබෙන්නේ ඉතා වේගයෙන් අංශු විදින රේඩියෝ තරංග නිකුත් කරන ගැලැක්සිවලින් පමණයි. නමුත් මේ ක්වේසාර් එක රේඩියෝ තරංග නිහඬ එකක් වීම විශේෂත්වයක්. ඒ නිසාම මේ වායු ධාරාව කිසිදු බාධාවකින් තොරව නිරීක්ෂණය කරන්න විද්යාඥයන්ට පුළුවන් වුණා. පැය 180ක දීර්ඝ නිරීක්ෂණයකින් පසුව ඔවුන් තහවුරු කළේ, සීතල වායූන් කළු කුහරයේ ගුරුත්වාකර්ෂණය නිසා ඇදී එන විට ඇතිවන ගැටුම්වලින් මේ දැවැන්ත උණුසුම ජනනය වන බවයි. මේ සොයාගැනීම විශ්වයේ ආරම්භක අවධියේ සිදුවූ අභිරහස් ක්රියාවලීන් තේරුම් ගැනීමට ලැබුණු විශාල ජයග්රහණයක් ලෙසයි විද්යාඥයන් හඳුන්වන්නේ.

Discussion & Feedback