අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස්-රේ දුරේක්ෂය භාවිත කරලා විශ්වයේ ඉතාමත් පැරණි ක්වේසාර් (Quasar) එකකින් පිටවන අතිශය උණුසුම් වායු ධාරාවක් සොයාගෙන තියෙනවා. මේ වායු ධාරාවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 36ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ අපූරු සොයාගැනීම සිදුකරලා තියෙන්නේ මහා පිපිරුමෙන් වසර බිලියන 2.1කට පසුව පැවති MQN01 කියන මන්දාකිණි පොකුර ආශ්‍රිතවයි. මේ වායු ධාරාව අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ 100,000ක් පුරා පැතිරී තිබෙන අතර, එය අනාගතයේදී මන්දාකිණි පොකුරු වටා ඇති වායුගෝලීය තට්ටුව බවට පත්වෙනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.
සාමාන්‍යයෙන් මෙවැනි එක්ස්-රේ විමෝචනයන් දකින්න ලැබෙන්නේ ඉතා වේගයෙන් ප්ලාස්මා ජෙට් පිටකරන රේඩියෝ තරංග බහුල මන්දාකිණිවලින් පමණයි. නමුත් මේ ක්වේසාර් එක රේඩියෝ තරංග අතින් නිහඬ එකක් වීම විශේෂත්වයක්. ඒ නිසාම මේ සොයාගැනීම මගින් කළු කුහරයකින් පිටවන වායු ධාරාවන් කෙලින්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වුණා. මිලානෝ-බිකෝකා විශ්වවිද්‍යාලයේ සෙබස්තියනෝ කැන්ටලුපෝ පවසන පරිදි, මන්දාකිණි පොකුරු සෑදෙන මුල් අවධියේදී වායූන් උණුසුම් වන ආකාරය සහ ඒවායේ භෞතික තත්ත්වයන් ගැන තේරුම් ගැනීමට මේ දත්ත ඉතා වැදගත් වෙනවා. මේ සොයාගැනීම මගින් විශ්වයේ මන්දාකිණි නිර්මාණය වීමේ අභිරහස විසඳා ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.

Discussion & Feedback