X සමාජ මාධ්‍ය වේදිකාව තමන්ගේ ‘For You’ ඇල්ගොරිතමය සහ ප්‍රධාන ශ්‍රේණිගත කිරීමේ පද්ධතියේ මූල කේත (source code) ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට පියවර අරගෙන තියෙනවා. මේක ඇත්තටම ලොකු වෙනසක්. මොකද, දැන් ඕනෑම කෙනෙකුට X එකේ පෝස්ට් එකක් කොහොමද තෝරාගන්නේ සහ ඒවා පරිශීලකයන්ට පෙන්වන්නේ කොහොමද කියන එක ගැන තාක්ෂණික පැත්තෙන් ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන්. මේ පියවර හරහා සමාගම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වේදිකාව වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යන්නයි.
ඒ වගේම, තමන්ගේ ගිණුම හෝ පෝස්ට් එකක් සමාගමේ ඇල්ගොරිතම මගින් සීමා කරලා තියෙනවද (Shadowban) කියලා දැනගන්න අලුත් පහසුකමක් X හඳුන්වා දීලා තියෙනවා. මේ සඳහා ‘Under the Hood’ නමින් අලුත් අංශයක් සැකසුම් (settings) තුළ ඇතුළත් කරලා තියෙනවා. මාසයකට පෝස්ට් දහයකට වඩා දාන පරිශීලකයන්ට තමන්ගේ ගිණුමේ තත්ත්වය ගැන විස්තරාත්මක වාර්තාවක් මෙතැනින් ලබාගන්න පුළුවන්. මේ දත්ත සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරු නම්, ඒ දත්ත AI තාක්ෂණය හරහා විශ්ලේෂණය කරගන්නත් අවස්ථාව තියෙනවා.
මේ වෙනසත් එක්කම, පිටස්තර සංවර්ධකයන්ටත් X ඇල්ගොරිතමය දියුණු කරන්න උදව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, ඇල්ගොරිතමය හදන්නේ සමාගම විතරක් නෙවෙයි, මහජනතාවටත් ඒකට දායක වෙන්න පුළුවන් පසුබිමක් X විසින් නිර්මාණය කරලා තියෙනවා. කෙසේ වෙතත්, ස්පෑම් පණිවිඩ සහ නීති විරෝධී දේවල් වළක්වා ගන්නා පද්ධති වගේ සංවේදී කොටස් නම් මේ විවෘත කිරීමේදී ඇතුළත් කරලා නැහැ. මේ වැඩපිළිවෙල හරහා X වේදිකාව ගැන තිබුණු විවිධ සැකසංකා දුරු කරලා, වඩාත් විශ්වාසවන්ත තැනක් බවට පත්කරන්න ඔවුන් උත්සාහ කරනවා.

Discussion & Feedback