අවුරුදු 74කට කලින් අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු පැන් ඇම් (Pan Am) ගුවන් යානයක සුන්බුන් සොයා ගැනීමට ගවේෂකයන් කණ්ඩායමකට හැකි වෙලා තියෙනවා. ‘ක්ලිපර් එන්ඩෙවර්’ නමින් හැඳින්වෙන මෙම යානය පුවර්ටෝ රිකෝ වෙරළට ඔබ්බෙන් අඩි 2000ක් පමණ ගැඹුරේ තිබියදී තමයි සොයාගෙන තියෙන්නේ. 1952 වසරේදී ගුවන්ගත වී සුළු මොහොතකින් එන්ජින් අක්‍රිය වීම නිසා මෙම යානය මුහුදට කඩා වැටුණා. ඒ වෙලාවේ යානයේ හිටපු 69 දෙනාගෙන් 52 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වුණේ මගීන්ට ජීවිතාරක්ෂක කබා සහ බෝට්ටු සොයා ගැනීමට නොහැකි වීම නිසයි.
මේ ඛේදවාචකය ගුවන් සේවා ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. අද අපි ඕනෑම ගුවන් ගමනකදී අහන්න ලැබෙන ‘පූර්ව ගුවන් ආරක්ෂක උපදෙස්’ මාලාව හඳුන්වා දුන්නේ මේ අනතුරෙන් පස්සේ. මගීන්ට ජීවිතාරක්ෂක උපකරණ භාවිත කරන ආකාරය කියා දීම අනිවාර්ය වුණේ මේ සිදුවීම නිසයි. අද අපි ගුවන් යානයක ගමන් කරනකොට ආරක්ෂිතව ඉන්නේ එදා මේ මගීන් අත්විඳි අවාසනාවන්ත සිදුවීම නිසා බව ගවේෂකයන් පවසනවා.
මෙම ගවේෂණය සිදු කළේ ‘එයාර්/සී හෙරිටේජ් පදනම’ සහ ‘ඩිස්කවරි චැනල්’ එකේ කණ්ඩායමක් එකතු වෙලා. ඔවුන් අති නවීන සෝනාර් තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන යානයක් භාවිත කරලා තමයි මේ සුන්බුන් කොටස් සොයා ගත්තේ. යානයේ නම සහ පැන් ඇම් ලාංඡනය තවමත් පැහැදිලිව දැකගන්න පුළුවන් බවත් ඔවුන් පවසනවා. වසර ගණනාවකට පසු මේ සොයාගැනීම මගින් ගුවන් අනතුරුවලට ලක්වූ පවුල්වල අයට යම් සහනයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

Discussion & Feedback