ලෝකයේ වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන කැමරූන් ජනාධිපති පෝල් බියා, පසුගිය දින හැටක කාලයක් තිස්සේ රටින් බැහැරව ස්විට්සර්ලන්තයේ රැඳී සිටීම මේ වන විට ලොව පුරා දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. ඔහු රටේ නොසිටියත්, ජිනීවා නුවර සිට විශේෂ නියෝග කිහිපයක් නිකුත් කරමින් හමුදා නායකත්වයේ විශාල වෙනසක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති අතර, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටින ප්‍රභූ ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ලෙස රේමන්ඩ් ජීන් චාල්ස් බෙකෝ අබොන්ඩෝව නැවතත් පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මෙම දීර්ඝ විදේශ සංචාරය සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රට තුළ විශාල අවිනිශ්චිතතාවයක් සහ විවේචන මතු වෙමින් පවතිනවා. විපක්ෂය පවසන්නේ රටේ විධායක බලය මෙලෙස විදේශයක සිට ක්‍රියාත්මක කිරීම බරපතල ආයතනික රික්තකයක් නිර්මාණය කර ඇති බවයි. කෙසේ වෙතත්, රජයේ ප්‍රකාශකයින් පවසන්නේ ජනාධිපතිවරයා නිරෝගීව සිටින බවත්, ඔහු ජිනීවා සිට සිය රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත්ය. කෙසේ වෙතත්, වසර ගණනාවක් තිස්සේ බලයේ සිටින 93 හැවිරිදි බියාගේ මෙම ක්‍රියාකලාපය කැමරූන් දේශපාලනය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති කර තිබෙන බව නම් පැහැදිලියි.

Discussion & Feedback