ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම විනිසුරුවරුන්ගේ සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය (IAJ) සිය දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කර තිබෙනවා. විශ්‍රාම යන වයස වෙනස් කිරීමේ ගැටලුවක් ඔවුන්ට නැතත්, මෙම සංශෝධනය ගෙන එන ආකාරය සහ ඒ සඳහා තෝරාගෙන ඇති කාලසීමාව පිළිබඳව ඔවුන් බරපතළ ප්‍රශ්න මතු කරනවා. මෙවැනි වැදගත් වෙනස්කම් සිදු කිරීමේදී විනිවිදභාවයකින් යුතුව සහ පුළුල් සාකච්ඡාවකින් පසුව සිදු කළ යුතු බවත්, හදිසියේ ගෙන එන මෙවැනි තීරණ මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම මෙම යෝජනාව ඇතැම් විනිසුරුවරුන්ට වාසි සැලසීම සඳහාම ගෙන එන ලද්දක් ලෙස මහජනතාව අතර මතයක් ගොඩනැගී තිබීම අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීමට හේතුවක් බවයි එම සංගමය පවසන්නේ. ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මීට පෙර මතු කළ කරුණු සමඟ ද ඔවුන් එකඟතාව පළ කරනවා. ඒ නිසා, වත්මන් රජය මෙම යෝජනාව නැවත සලකා බැලිය යුතු බවත්, රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා. ලොව පුරා රටවල් 93ක විනිසුරුවරුන් නියෝජනය කරන මෙම සංගමය, ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුතු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback