ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර කාර්යබහුල ටයිම්ස් චතුරශ්රයේදී ඉතාමත් බිහිසුණු පිහියෙන් ඇනීමේ සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. බදාදා සවස් වරුවේ පිහි දෙකක් අතැතිව පැමිණි 49 හැවිරිදි කාන්තාවක් කිසිදු හේතුවක් නොමැතිව මගීන් දෙදෙනෙකුට පිහියෙන් ඇන තිබෙනවා. මේ ප්රහාරයෙන් 68 හැවිරිදි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. සැකකාරිය ක්වීන්ස් ප්රදේශයේ පදිංචි පැමෙලා සිස්නෙරෝස් බවයි පොලිසිය හඳුනාගෙන තියෙන්නේ.
පොලිසිය පවසන විදිහට, සැකකාරිය පිහි දෙකක් අතැතිව මගීන්ට පහර දෙන විට පොලිස් නිලධාරීන් ඇයට අවි බිම තබන ලෙස විනාඩි හතරක් තිස්සේ ඉල්ලා තිබෙනවා. නමුත් ඇය පොලිසියටත් තර්ජනය කරමින් ඉදිරියට පැමිණි නිසා, ඇයව පාලනය කිරීමට පොලිසිය ටේසර් තුවක්කු භාවිතා කළත් එය අසාර්ථක වෙලා තියෙනවා. අවසානයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් සැකකාරිය ද මියගොස් තිබෙනවා. ඇයට මීට පෙර මානසික රෝගී තත්ත්වයන් පිළිබඳ ඉතිහාසයක් තිබී ඇති බවත්, මේ සිද්ධියෙන් තවත් විශාල විනාශයක් සිදුවීම පොලිසිය විසින් වළක්වා ගත් බවත් නිව්යෝර්ක් නගරාධිපතිවරයා පවසා තිබෙනවා. මේ වන විට තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය ස්ථාවර බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback