කැනඩාවේ ඔන්ටාරියෝ ප්රාන්තයේ රෝහල් කිහිපයක සේවය කරමින් රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ මුදල් හා දේපළ සොරකම් කළ බව කියන 34 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. බර්ලින්ටන් නගරයේ පදිංචි නසීම් එරොන් නමැති මෙම කාන්තාවට එරෙහිව වංචා කිරීම් සහ සොරකම් කිරීම් ඇතුළු චෝදනා 65ක් ගොනු කරලා තියෙනවා. ඇය 2024 පෙබරවාරි මාසයේ සිට පසුගිය මාසය දක්වා කාලය තුළ විවිධ රෝහල්වල සේවය කරමින් මෙම අපරාධ සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුණේ ඔරිලියා සොල්දාදුවන්ගේ අනුස්මරණ රෝහලෙන් ලැබුණු පැමිණිල්ලක් නිසයි. පසුව සිදු කළ දීර්ඝ විමර්ශනවලදී ටොරොන්ටෝ සහ අවට ප්රදේශවල පිහිටි තවත් රෝහල් කිහිපයකම ඇය මෙවැනි වංචා සිදු කර ඇති බව අනාවරණය වුණා. ඇය රෝහල්වල සේවය කරන අතරතුර රෝගීන්ගේ බැංකු කාඩ්පත් සහ වටිනා දේපළ සොරකම් කර ඇති අතර, අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ අන් අය ලෙස පෙනී සිටීම වැනි බරපතළ චෝදනා රැසක් ඇයට එල්ල වී තිබෙනවා.
පොලිසිය විසින් ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී සොරකම් කරන ලද භාණ්ඩ විශාල ප්රමාණයක් සොයාගෙන තියෙනවා. තවමත් ඇයගේ වින්දිතයන් තවත් සිටිය හැකි බවට සැක කරන පොලිසිය, මහජනතාවට තමන්ගේ බැංකු ගිණුම්වල සැක කටයුතු ගනුදෙනු ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙස දැනුම් දෙනවා. රෝහල් පරිශ්රයන් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම කැනඩාවේ ජනතාව අතර විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback