ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මේ වන විට ලක්ෂ තුනකට අධික පිරිසක් අවතැන් වෙලා. විශේෂයෙන්ම ප්‍රංශයේ බෝඩෝ නගරයට කිලෝමීටර් 15ක් ආසන්නයෙන් ගින්න පැතිර යාම නිසා නගරවාසීන් දැඩි බියකින් සහ පීඩනයකින් පසුවන බවයි වාර්තා වෙන්නේ. නගරය පුරා පැතිරී ඇති ඝන දුමාරය නිසා ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති අතර, බොහෝ දෙනෙක් මුඛ ආවරණ පැළඳගෙන සිටින ආකාරය දැකගන්න පුළුවන්. ඇතැම් සංචාරකයින් පවසන්නේ මෙය හරියට බිහිසුණු චිත්‍රපටයක දර්ශනයක් වැනි බවයි. අහසින් අළු වැටෙන අතර, හිරු එළිය පවා දුමාරය නිසා තැඹිලි පැහැයක් ගෙන තිබෙනවා.
තවත් ප්‍රදේශවල ජනතාව පවසන්නේ තම ජීවිත කාලය පුරාම දැක පුරුදු කඳු පන්ති ගින්නෙන් දැවී අළු වී යන දසුන අතිශය වේදනාකාරී බවයි. ඇතැම් පවුල් තම නිවෙස් අතහැර දමා යන්නේ අත්‍යවශ්‍ය ලියකියවිලි සහ ඇඳුම් පැළඳුම් පමණක් රැගෙනයි. ගින්න නිවසේ දොරකඩටම පැමිණි අවස්ථාවලදී පවා ජීවිත බේරා ගැනීමට ඔවුන්ට සිදුවුණා. මේ වන විටත් ගිනි නිවන භටයින් දහස් ගණනක් ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම ස්වභාවික විපත නිසා දහස් ගණනකගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, බොහෝ දෙනෙකුට තම නිවෙස් සහ දේපළ අහිමි වීමේ අවදානමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

Discussion & Feedback