ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟම ඔහු මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මේ දිනවල දේශපාලන කරළිය උණුසුම් වී තිබියදීයි. තමන්ව අත්අඩංගුවට ගත් මොහොත සහ කාලසීමාව පිළිබඳව ප්‍රශ්න කරන නාමල් රාජපක්ෂ, ආණ්ඩුවේ දෙවසරක පාලනය සැමරීමට සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන රැලිය සහ සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත පොහොට්ටුවේ ජනහමුව ගැන සිහිපත් කරමින්, මේ සියල්ල පිටුපස දේශපාලන අරමුණක් තිබේදැයි ජනතාව ප්‍රශ්න කරන බව පවසනවා.
තමන්ට එරෙහිව සාක්ෂි තිබේ නම් සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පැවැත්වීම පිළිගන්නා බවත්, අධිකරණය මගින් වරදක් ඔප්පු වුවහොත් නීතියේ පිහිට පැතීමට තමන් සූදානම් බවත් ඔහු අවධාරණය කරනවා. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලපෑම්වලින් තොරව, සැකයක් නොමැතිව සාධාරණ නඩු විභාගයකට තමන්ට ඇති අයිතිය සුරැකිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. දේශපාලන තනතුරු තාවකාලික බවත්, නීතියේ ආධිපත්‍යය සැමවිටම ආරක්ෂා විය යුතු බවත් පවසන නාමල් රාජපක්ෂ, මේ සියලු නීතිමය කටයුතුවලට කිසිදු බියකින් තොරව මුහුණ දෙන බවත් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා.

Discussion & Feedback