ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ ඔහු මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගත් මොහොත සහ කාලසීමාව පිළිබඳව දැඩි ප්‍රශ්න කරන නාමල් රාජපක්ෂ, ආණ්ඩුවේ දෙවසරක පාලනය සැමරීමට සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන රැලිය සහ සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත පොහොට්ටුවේ ජනහමුව වැනි දේශපාලනික වශයෙන් වැදගත් සිදුවීම් මාලාවක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම සැක සහිත බවයි පවසන්නේ. “ඇයි අද? ඇයි මේ වෙලාවේ? ඇයි 18 වෙනිදා දක්වා?” යන ප්‍රශ්න ජනතාව අතර පවතින බව ඔහු පෙන්වා දෙනවා.
තමන්ට එරෙහිව සාක්ෂි තිබේ නම් සාධාරණ සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව තමන් එකඟ බවත්, අධිකරණය මගින් වරදක් ඔප්පු වුවහොත් නීතියේ පිහිට පැතීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ දේශපාලන බලපෑම්වලින් තොරව, නීතියේ ආධිපත්‍යය සහ සාධාරණ විභාගයකට ඇති අයිතිය සුරකින පරිදි සිදු විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණා.
තමන් කිසිදු බියකින් තොරව මෙම නීතිමය ක්‍රියාදාමයට මුහුණ දෙන බව පවසන නාමල් රාජපක්ෂ, දේශපාලන තනතුරු තාවකාලික වුවත් නීතියේ ආධිපත්‍යය සැමවිටම පැවතිය යුතු බව පවසනවා. තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමටත්, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව තහවුරු කිරීමටත් තමන් කැපවී සිටින බවයි ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ.

Discussion & Feedback