ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම මේ වන විට දේශපාලන කරළියේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදුවන මේ පරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරන්නේ, ඇයි මේ වෙලාවේදීම තමන්ව අත්අඩංගුවට ගත්තේ කියන එකයි. ආණ්ඩුවේ දෙවසරක පාලනය සමරන්න සැප්තැම්බර් 5 වැනිදා රැලියක් පැවැත්වෙන අතරේම, සැප්තැම්බර් 12 වැනිදා පොදුජන පෙරමුණේ දැවැන්ත ජනහමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙවැනි පියවරක් ගැනීම ජනතාව තුළ සැකයක් මතු කරන බවයි ඔහු පවසන්නේ.
තමන්ට එරෙහිව සාක්ෂි තියෙනවා නම් සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයකට මුහුණ දෙන්න තමන් සූදානම් බවත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය තමන් ගරු කරන බවත් ඔහු අවධාරණය කරනවා. දේශපාලන බලතල කියන්නේ තාවකාලික දෙයක් බවත්, නීතිය සැමට සමාන විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, දේශපාලන පළිගැනීම්වලින් තොරව, නිර්දෝෂීභාවය පිළිබඳ උපකල්පනයට ගරු කරමින් මේ නීතිමය ක්‍රියාවලිය සිදුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. තමන් මේ සියලු අභියෝගවලට කිසිදු බියකින් තොරව මුහුණ දෙන බවත්, තමන්ව විශ්වාස කරන ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තියෙනවා.

Discussion & Feedback