ඉන්දියාවේ ආරක්ෂක අංශයේ දැවැන්ත වෙනසක් සිදුකරමින්, එරට රජය විසින් සංවර්ධනය කරන ලද මිසයිල තාක්ෂණයන් පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. මීට පෙර මෙම කටයුතු සම්පූර්ණයෙන්ම රජයේ ආයතනවලට පමණක් සීමා වී තිබුණත්, මේ නව තීරණයත් සමඟ ඉන්දියාවේ පෞද්ගලික සමාගම්වලටත් මිසයිල නිෂ්පාදනය සඳහා අවස්ථාව ලැබෙනවා. ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ අනුමැතියෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වෙන්නේ ආනයනය මත යැපීම අඩු කර, දේශීයව අවි ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමයි.
මෙම තීරණයත් සමඟ භූමි-ගුවන, ගුවන්-ගුවන් සහ ටැංකි නාශක මිසයිල ඇතුළු සියලුම සාම්ප්‍රදායික මිසයිල පද්ධති නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට හැකියාව ලැබෙනවා. මීට පෙර රාජ්‍ය සමාගම් සතුව තිබූ ඒකාධිකාරිය බිඳ වැටීමත් සමඟ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත් මෙම ආරක්ෂක සැපයුම් දාමයට සම්බන්ධ වීමට අවස්ථාව උදාවෙනවා. විශේෂයෙන්ම චීනය සහ පාකිස්තානය වැනි අසල්වැසි රටවල් සමඟ පවතින දේශසීමා ගැටලු සහ භූ-දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉන්දියාව සිය ආරක්ෂක අයවැය විශාල වශයෙන් ඉහළ නංවා තිබෙනවා.
මෙම පියවර මගින් ඉන්දියාවේ ‘ආත්මනිර්භර් භාරත්’ හෙවත් ස්වයංපෝෂිත ඉන්දියාවක් ගොඩනැගීමේ ඉලක්කය තවත් ශක්තිමත් වෙනවා. පෞද්ගලික සමාගම්වලට තාක්ෂණය ලබාදීම හරහා මිසයිල නිෂ්පාදනය වේගවත් කිරීමටත්, නවීන තාක්ෂණය දේශීය කර්මාන්ත වෙත හඳුන්වා දීමටත් රජය බලාපොරොත්තු වෙනවා. මෙය ඉන්දීය ආරක්ෂක ක්ෂේත්රයේ විශාල පෙරළියක් වනු ඇති අතර, ඉදිරියේදී ඉන්දියාවට තමන්ගේම යුධ කර්මාන්ත සංකීර්ණයක් ගොඩනැගීමට මෙය මග පාදනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback