අභ්‍යවකාශ විද්‍යාවේ අනාගතය වෙනස් කරන්න යන නාසා ආයතනයේ නවතම දුරේක්ෂය නම් කරලා තියෙන්නේ ‘නැන්සි ග්‍රේස් රෝමන්’ කියන විශිෂ්ට විද්‍යාඥවරියගේ නමින්. ඇය නාසා ආයතනයේ පළමු ප්‍රධාන තාරකා විද්‍යාඥවරිය වගේම පළමු කාන්තා විධායක නිලධාරිනියත් වෙනවා. 1959 වසරේදී නාසා ආයතනයේ අභ්‍යවකාශ තාරකා විද්‍යා වැඩසටහන ආරම්භ කළේ ඇයයි. අද අපි දන්නා හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි දැවැන්ත ව්‍යාපෘති සාර්ථක කරගන්න ඇය ලබා දුන් දායකත්වය නිසා ඇයව ‘හබල් දුරේක්ෂයේ මව’ විදිහට හඳුන්වනවා. ඇය නොසිටින්නට අද පවතින නවීන අභ්‍යවකාශ ගවේෂණ මෙතරම් දියුණු නොවන්නට ඉඩ තිබුණා.
නැන්සි ග්‍රේස් රෝමන් කුඩා කාලයේ ඉඳලම තාරකා විද්‍යාවට හරිම ආසයි. වයස අවුරුදු 11දී ඇය තමන්ගේ යාළුවොත් එකතු කරගෙන තාරකා විද්‍යා සමාජයක් පවා පිහිටුවා ගත්තා. ඒ කාලේ කාන්තාවන්ට උසස් අධ්‍යාපනය ලබන්න තිබුණු බාධක මැද වුණත්, ඇය අධිෂ්ඨානයෙන් යුතුව තාරකා විද්‍යාව හදාරලා ලෝකයටම ආදර්ශයක් වුණා. අද දියත් වෙන්න නියමිත මේ නව දුරේක්ෂය මගින් අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය වැනි විශ්වයේ තවමත් විසඳාගත නොහැකි ගැටලු රැසක් ගැන පර්යේෂණ කරන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ දුරේක්ෂය ඇයගේ නමින් නම් කිරීම ඇය කළ අමිල සේවයට කරන ලොකුම ගෞරවයක්.

Discussion & Feedback