ප්රසිද්ධ නිවේදක ජිමී කිමෙල් වෙනුවට පසුගිය දිනවල රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවූ රෝසි ඔඩොනල් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර පවතින දීර්ඝකාලීන ආරවුල නැවතත් කරළියට ඇවිත්. රෝසි වැඩසටහන අතරතුර ට්රම්ප්ව දැඩි ලෙස විවේචනය කරමින් විවිධ විහිළු තහළු කිරීම නිසා ධවල මන්දිරය ඇයව හඳුන්වා තිබෙන්නේ ‘නරක කාන්තාවක්’ සහ ‘අපිරිසිදු පුද්ගලයෙක්’ ලෙසයි. ඇයගේ මොළය ට්රම්ප් පිස්සුවෙන් විනාශ වී ඇති බවත් ධවල මන්දිර ප්රකාශක ඩේවිස් ඉන්ගල් පවසනවා.
රෝසි ඇයගේ වැඩසටහනේදී ට්රම්ප්ගේ පාලනය සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන උපහාසාත්මක ගීත ගායනා කරමින් ඔහුට වහාම ඉල්ලා අස්වෙන ලෙසත්, රට නැවත ශ්රේෂ්ඨ කරන ලෙසත් පවසා තිබුණා. විශේෂයෙන්ම ට්රම්ප්ගේ සහායිකාවක වන නැටලී හාප් ගැනත් ඇය විවිධ විහිළු කර තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මේ අතරතුර, ට්රම්ප් පාලනය විසින් ඒබීසී (ABC) මාධ්ය ජාලයට එල්ල කරන පීඩනයට එරෙහිව එම ආයතනය විසින් නීතිමය පියවර ගෙන තිබීමත් මේ දිනවල ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් වෙලා.
ට්රම්ප් සහ රෝසි අතර පවතින මේ ගැටුම අලුත් දෙයක් නෙවෙයි. කෙසේ වෙතත්, ධවල මන්දිරය මෙවැනි ප්රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව මෙතරම් දැඩි ලෙස ප්රතිචාර දැක්වීම බොහෝ දෙනා දකින්නේ අසාමාන්ය දෙයක් විදියටයි. කෙසේ වෙතත්, රෝසිගේ මේ ක්රියාකලාපය නිසා ට්රම්ප් පාක්ෂිකයන් සහ විරුද්ධවාදීන් අතර සමාජ මාධ්ය ඔස්සේ විශාල වාද විවාද ඇතිවෙමින් පවතිනවා.

Discussion & Feedback