WhatsApp භාවිතා කරන අයට තියෙන ලොකුම ප්රශ්නයක් වුණේ පරිගණකයෙන් වැඩ කරන අතරතුර ඇමතුමක් ගන්න ඕන වුණාම අනිවාර්යයෙන්ම ෆෝන් එකම පාවිච්චි කරන්න සිද්ධ වෙන එක. හැබැයි දැන් Meta සමාගම මේකට විසඳුමක් විදිහට WhatsApp Web හරහාත් ඕඩියෝ සහ වීඩියෝ ඇමතුම් ලබාගන්න පහසුකම හඳුන්වා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ෆෝන් එකේ තියෙන ස්ක්රීන් ශෙයාර් කිරීම සහ රියැක්ෂන්ස් වගේ පහසුකම් පවා දැන් වෙබ් ඇප් එකේදීත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඇමතුමක් අතරතුරදී එක උපාංගයකින් තවත් උපාංගයකට ඇමතුම විසන්ධි නොවී මාරු කරගන්නත් දැන් හැකියාව ලැබෙනවා.
මේ අලුත් යාවත්කාලීන කිරීමත් එක්ක තවත් වැදගත් පහසුකම් කිහිපයක්ම එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔෆිස් වැඩවලට WhatsApp පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන ‘Waiting Room’ පහසුකම දැන් හඳුන්වා දීලා තියෙනවා. ඒ හරහා ගෲප් කෝල් එකකට එන අයට අවසර ලබාදීම හෝ ඉවත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම පසුබිම් ශබ්ද අවම කරන (Noise suppression) පහසුකමත්, වීඩියෝ ඇමතුමක් ගත්ත ගමන්ම ඉතා පැහැදිලි HD තත්ත්වයෙන් දර්ශන ලබාගැනීමේ හැකියාවත් දැන් ලැබෙනවා. මේ වෙනස්කම් නිසා WhatsApp හරහා කරන වැඩකටයුතු තවත් පහසු සහ කාර්යක්ෂම වෙනවා නොඅනුමානයි.

Discussion & Feedback