යුරෝපීය මාධ්‍ය ජාලයක් විසින් සිදුකළ විමර්ශනයකදී හෙළි වී තිබෙන්නේ ‘Traders of Greater Europe’ නමින් හැඳින්වෙන වට්ස්ඇප් සමූහයක් හරහා ලොව පුරා අතිවිශාල මුදල් ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස හුවමාරු කර ඇති බවයි. සාමාජිකයන් 532 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම හරහා කිසිදු බැංකු වාර්තාවක් ඉතිරි නොවන පරිදි ‘හවාලා’ ක්‍රමයට මුදල් හුවමාරු කර තිබෙනවා. මේ හරහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සහ බර්මින්හැම් වැනි නගරවලට මෙන්ම සිරියාවේ සිටින අයි.එස්. අන්තවාදීන් වෙත පවා මුදල් ගලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බෙල්ජියම් විනිසුරුවරයෙකු විසින් සොයාගත් මෙම ජාලය හරහා 2022 වසරේදී පමණක් පණිවිඩ 82,000කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති අතර, එය සැබවින්ම ලෝකයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ දැවැන්ත ජාවාරමක් බව හෙළි වී තිබෙනවා.
මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධානීන්ගේ දුරකථන පරීක්ෂා කිරීමේදී හවාලා ගනුදෙනු දහස් ගණනක සාක්ෂි හමුවී ඇති අතර, ඔවුන් බැංකු පද්ධතියේ කිසිදු අධීක්ෂණයකින් තොරව වෘත්තීය මට්ටමින් මෙම කටයුතු සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් හවාලා ක්‍රමය විදේශගත ශ්‍රමිකයන් තම පවුල්වලට මුදල් යැවීමට භාවිතා කළත්, අපරාධකරුවන් මෙලෙස එය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් සඳහා මුදල් යොදවා තිබෙනවා. බෙල්ජියම් අධිකරණයක් විසින් මෑතකදී මෙම ජාලයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුට දඬුවම් නියම කළ අතර, මෙය හුදෙක් අහඹු සිදුවීමක් නොව ලොව පුරා පැතිරී ඇති දැවැන්ත භූගත මූල්‍ය පද්ධතියක කොටසක් බවයි විමර්ශකයන් පවසන්නේ.

Discussion & Feedback