ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු අතර ඇති වූ බරපතළ ගැටුමක් හේතුවෙන් ගුවන් ගමන අතරමග නතර කිරීමට සිදුවුණා. මේ සිදුවීමත් එක්ක යානය සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වන්නට නියමුවන් කටයුතු කළා. යානය ගමන් කරමින් තිබියදී හදිසියේම අඩි 14,000ක් පමණ පහළට කඩා වැටීමත් සමඟ මගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි භීතියට පත් වුණා. පසුව අනාවරණය වුණේ එක් නියමුවෙක් අනෙක් නියමුවාට පිහියෙන් ඇන යානය කඩා දැමීමට උත්සාහ කළ බවයි.
ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන විදිහට, යානය කඩා වැටෙන්නට පටන් ගත් මොහොතේ මගීන් සහ කාර්ය මණ්ඩලය කොක්පිට් එකට කඩා වැදී එම නියමුවාව පාලනය කරගෙන තිබෙනවා. මේ සිදුවීම ත්රස්ත ප්රහාරයක් ද නැතිනම් නියමුවාගේ සියදිවි නසා ගැනීමේ උත්සාහයක් ද යන්න ගැන මේ වන විට පරීක්ෂණ සිදුවෙනවා. සැකකාර නියමුවා ඕමාන ජාතිකයෙක් බවත් ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා. වාසනාවකට මෙන් යානයේ සිටි කිසිදු මගියෙකුට හානියක් සිදු වී නැහැ.
මේ සිදුවීම නිසා ඊශ්රායල මගීන් පිරිසක් සෞදි අරාබියේ අතරමං වුණා. සෞදි අරාබිය සහ ඊශ්රායලය අතර රාජ්ය තාන්ත්රික සබඳතා නොමැති නිසා, ඔවුන්ව රැගෙන ඒමට ඊශ්රායලය කළ ඉල්ලීම සෞදි බලධාරීන් ප්රතික්ෂේප කර තිබෙනවා. පසුව ෆ්ලයි ඩුබායි ආයතනය විසින් වෙනත් ගුවන් යානයක් යොදවා මගීන්ව ආරක්ෂිතව ගමනාන්තයට යැවීමට කටයුතු කළා.

Discussion & Feedback