AOL, Vimeo, Evernote සහ WeTransfer වැනි ජනප්‍රිය අන්තර්ජාල සන්නාම රැසක හිමිකාරිත්වය දරන ඉතාලියේ මිලාන් නුවර පදනම් කරගත් Bending Spoons සමාගම පසුගියදා Nasdaq කොටස් වෙළඳපොළට එක් වුණා. ඔවුන්ගේ වෙළඳපොළ වටිනාකම කෙටි කාලයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 25 ඉක්මවා යාම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. වසර 13කට පෙර කුඩා ආරම්භක ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු මෙම සමාගම, අද වන විට ලොව පුරා මිලියන 500කට අධික සක්‍රීය පරිශීලකයින් පිරිසකට සේවය සපයන දැවැන්ත තාක්ෂණික සමූහ ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා.
මෙම සමාගමේ විශේෂත්වය වන්නේ ඔවුන් අත්පත් කරගන්නා සමාගම් නැවත විකිණීම වෙනුවට, ඒවායේ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් වැඩි දියුණු කර දිගුකාලීනව පවත්වාගෙන යාමයි. ඇතැම් අවස්ථාවලදී ඔවුන් සිදුකරන මිල වැඩි කිරීම් සහ සේවක කප්පාදුව වැනි තීරණ විවේචනයට ලක් වුණත්, සමාගමේ සම-නිර්මාතෘ මැටියෝ ඩැනියෙලි පවසන්නේ පරිශීලකයින්ගේ විශ්වාසය තවමත් ස්ථාවරව පවතින බවයි. 2025 වසරේදී පමණක් ඩොලර් බිලියන 1.31ක ආදායමක් වාර්තා කිරීමට ඔවුන් සමත් වුණා.
එරික් ෂ්මිඩ් සහ බ්රැඩ්ලි කූපර් වැනි ලොව ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ආයෝජනයන් ද හිමිව ඇති Bending Spoons, තමන් අත්පත් කරගන්නා ආයතන ‘තාක්ෂණික සුසාන භූමි’ බවට පත් නොකර, ඒවායේ දත්ත සහ මූල්‍යකරණය නිවැරදිව කළමනාකරණය කරමින් සාර්ථක ව්‍යාපාරික ආකෘතියක් ගොඩනඟා තිබෙනවා. අනාගතයේදී තවත් නවීන තාක්ෂණික විසඳුම් සමඟින් ඔවුන්ගේ ගමන තවදුරටත් පුළුල් වනු ඇතැයි ආයෝජකයින් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback