2028 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවට නැවතත් බරපතළ ආර්ථික අභියෝගයකට මුහුණ දීමට සිදුවිය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවනවා. කොළඹ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපොහොසත් වුවහොත් රට යළිත් ආර්ථික අගාධයකට වැටිය හැකි බවයි. 2026 වසර අවසානය වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළත්, ඉන් ඔබ්බට අවශ්‍ය වන අමතර ඩොලර් බිලියන 7 උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව ඔහු චෝදනා කරනවා.
ණය ගෙවීම් නැවත ආරම්භ වන 2028 වසරෙන් පසු කාලය රටේ ‘තුන්වන යුද්ධය’ ලෙස හඳුන්වන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, එම අභියෝගය ජය ගැනීමට නම් ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. තම පාලන සමයේදී හඳුන්වා දුන් ආර්ථික පරිවර්තන පනත් සහ මූල්‍ය කළමනාකරණ පනත්වල වැදගත්කම සිහිපත් කරන ඔහු, වත්මන් රජය එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොයෑම බරපතළ ගැටලුවක් බව පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත බැවින්, ඉන් පසුව රට ගමන් කළ යුතු නිවැරදි ආර්ථික මාවත පිළිබඳව රජය වහාම අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback