ඇල්ෆබෙට් සමාගමට අයත් Waymo ආයතනය තමන්ගේ රියැදුරෙක් නැති රොබෝ ටැක්සි සේවාව තවදුරටත් පුළුල් කරමින්, වයස අවුරුදු 13ට වැඩි දරුවන්ටත් එම සේවාව භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මීට පෙර ෆීනික්ස් නගරයේ පමණක් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන දැන් නැෂ්විල් නගරයටත් හඳුන්වා දී ඇති අතර, ඉදිරියේදී තවත් නගර රැසකට මෙය ව්‍යාප්ත කිරීමට ඔවුන් සැලසුම් කරමින් ඉන්නවා. දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ගිණුම් හරහා දරුවන්ට තනිවම හෝ තම මිතුරන් සමඟ ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.
මෙම නව පහසුකම නිසා පාසල් යන දරුවන්ට සහ විවිධ වැඩකටයුතුවල නිරත වන නව යොවුන් වියේ දරුවන්ට තම දෙමාපියන් මත යැපීමකින් තොරව ගමන් බිමන් යාමට විශාල පහසුවක් ලැබෙනවා. විශේෂයෙන්ම තරුණ රියැදුරන් පදවන වාහනවලට වඩා ආරක්ෂිත විකල්පයක් ලෙස දෙමාපියන් මෙම රොබෝ ටැක්සි සේවාව දකින බවයි වාර්තා වෙන්නේ. දරුවන්ට තවත් මිතුරන් තිදෙනෙකු දක්වා තමන් සමඟ රථයට නංවා ගැනීමට අවසර තිබෙන අතර, මෙය තාක්ෂණික ලෝකයේ තවත් පෙරළිකාර පියවරක් ලෙස සැලකෙනවා.
පසුගිය වසර දෙක තුළ Waymo සේවාව ඉතා වේගයෙන් ජනප්‍රිය වී ඇති අතර, සතිපතා සිදුවන ගමන් වාර ගණන ලක්ෂ පහ ඉක්මවා ගොස් තිබෙනවා. ඩෙන්වර්, ලාස් වේගාස් සහ සැන් ඩියාගෝ වැනි නගර රැසක මේ වන විටත් ඔවුන්ගේ සේවාවන් ක්‍රියාත්මකයි. ඉදිරියේදී දේශීය නීති රීතිවලට අනුකූලව තවත් ප්‍රදේශවලට මෙම සේවාව ව්‍යාප්ත කිරීම හරහා Waymo සමාගම සිය ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback