ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ පසුගිය වසර තුනක කාලයක් පුරා ක්‍රියාත්මක වුණු වේමෝ (Waymo) සහ උබර් (Uber) රොබෝ ටැක්සි හවුල්කාරිත්වය මේ වන විට නිහඬවම අවසන් වී තිබෙනවා. මීට පෙර උබර් ඇප් එක හරහා ෆීනික්ස් නුවරදී වේමෝ රථ වෙන් කරවා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව තිබුණත්, දැන් එම පහසුකම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි දෙපාර්ශවයම තහවුරු කරන්නේ. කෙසේ වෙතත්, ඔස්ටින් සහ ඇට්ලන්ටා වැනි අනෙකුත් නගරවල මෙම සේවාව තවමත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන්.
මෙම හවුල්කාරිත්වය අවසන් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගිවිසුම්ගත කාලසීමාව අවසන් වීමයි. වේමෝ පවසන පරිදි, ඔවුන් මේ වන විට තම නවතම ‘Ojai’ රොබෝ ටැක්සි රථ මාර්ගයට එක් කරමින් සිටින අතර, ෆීනික්ස් නුවරදී උබර් සමඟ භාවිත කළ රථ සියල්ලම නැවත වේමෝ සමාගමේම පාලනය යටතට ගෙන තිබෙනවා. උබර් සමාගම පවසන්නේ ෆීනික්ස් නුවරදී ලැබූ අත්දැකීම් ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වූ බවයි. ඉදිරියේදී වෙනත් ස්වාධීන හවුල්කරුවෙකු සමඟ ෆීනික්ස් නුවරදී නව සේවාවක් ආරම්භ කිරීමට උබර් සූදානම් වන බවත් වාර්තා වෙනවා.
තාක්ෂණික ලෝකයේ දැවැන්තයන් දෙදෙනෙකු වන වේමෝ සහ උබර් අතර මෙම සහයෝගීතාවය වසර කිහිපයකට පෙර ආරම්භ වූයේ බොහෝ දෙනා පුදුමයට පත් කරමින්. නමුත් අද වන විට රොබෝ ටැක්සි ක්ෂේත්රය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, වේමෝ සමාගම මේ වන විට සතියකට ගමන් වාර ලක්ෂ පහකට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරමින් ලොව පුරා තම සේවාව පුළුල් කරමින් සිටිනවා. කෙසේ වෙතත්, ලන්ඩන් නුවරදී මෙම සමාගම් දෙකම එකිනෙකාට තරඟකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත වීමත් සමඟ ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාරික උපාය මාර්ග කෙබඳු වේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.

Discussion & Feedback