අඟහරු ග්රහයාගේ මතුපිට අමුතුම ආකාරයේ දම් පැහැති රැලි සහිත වැලි කඳු පද්ධතියක් නාසා ආයතනය විසින් සොයාගෙන තියෙනවා. මේවා දකින ඕනෑම කෙනෙකුට හිතෙන්නේ පිටසක්වල ජීවීන්ගේ සලකුණු හෝ අමුතුම ආකාරයේ සාගරයක් කියලා. නමුත් ඇත්තටම මේ තියෙන්නේ අඟහරුගේ පෘෂ්ඨයේ තියෙන වැලි කඳු විශේෂයක්. නාසා ආයතනයේ ‘මාස් රිකොනයිසන්ස් ඕබිටර්’ යානයේ තියෙන HiRISE කැමරාවෙන් තමයි මේ අපූරු ඡායාරූපය ලබාගෙන තියෙන්නේ. මේ වැලි කඳු පිහිටලා තියෙන්නේ අඟහරුගේ උතුරු අර්ධගෝලයේ තියෙන නමක් නැති විශාල ආවාටයක පතුලේ. විද්යාඥයන් මේ ඡායාරූපය ලබාගෙන තියෙන්නේ 2011 වසරේදී ගත් ඡායාරූපයක් එක්ක සසඳලා, මේ වැලි කඳු වල සිදුවෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා අධ්යයනය කරන්නයි.
මේ වගේ ඡායාරූප මගින් අඟහරු ග්රහයාගේ අතීතය ගැන ගොඩක් දේවල් හොයාගන්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. අඟහරු කියන්නේ කවදාවත් නිශ්චල ග්රහයෙක් නෙවෙයි, ඒක නිතරම වෙනස් වෙන ග්රහයෙක්. අතීතයේදී අඟහරු මත විශාල විල්, ගංගා සහ සාගර පවා තිබුණා කියලා මේ වන විටත් තහවුරු වෙලා තියෙනවා. පර්සිවරන්ස් රෝවරය මගින් අඟහරු මත ජීවයේ සලකුණු තියෙනවද කියලා තවමත් පරීක්ෂණ කෙරෙනවා. මේ දම් පැහැති වැලි කඳු ඡායාරූපය නිකම්ම නිකම් ලස්සන පින්තූරයක් විතරක් නෙවෙයි, ඒක අඟහරුගේ රහස් හෙළි කරගන්න විද්යාඥයන්ට ලැබුණු තවත් එක වැදගත් සාක්ෂියක් විතරයි.

Discussion & Feedback