ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අති උත්කර්ෂවත් අවසන් රන්දෝලි පෙරහැර අද (27) සවස 6.43ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කළා. දළදා මාලිගාවේ සිට ආරම්භ වන මෙම පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රාජා වීදිය ඔස්සේ ගමන් කර නැවතත් දළදා මාලිගාව වෙත ළඟා වීමට නියමිතයි. කිලෝමීටර් 2.15ක පමණ දුරක් ගමන් කරන මෙම පෙරහැර නැරඹීම සඳහා අද දිනයේදීත් දහස් සංඛ්‍යාත බැතිමතුන් සහ සංචාරකයින් මහනුවර නගරයට එක්රොක් වී සිටිනවා.
මෙවර අවසන් රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හිමිව තිබෙන්නේ කදිරාපුර වාසනා ඇතාටයි. අලි ඇතුන්ගේ ගමන් විලාසය, උඩරට, පහතරට සහ සබරගමු නැටුම් අංගයන්ගෙන් වර්ණවත් වන මෙම පෙරහැර අපේ සංස්කෘතියේ අභිමානය ලොවටම කියාපානවා. මහනුවර නගරයම අද රාත්‍රියේ විදුලි ආලෝකයෙන් සහ බෙර හඬින් දෝංකාර දෙනු දැකගන්න පුළුවන්. පෙරහැරේ ගමන් මාර්ගය ඔස්සේ ආරක්ෂක අංශ විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බැතිමතුන්ට කිසිදු බාධාවකින් තොරව පෙරහැර නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මෙම අසිරිමත් දර්ශනය දැකබලා ගැනීමට රටේ නන් දෙසින් පැමිණි ජනතාවගේ උද්යෝගය ඉතා ඉහළ මට්ටමක පවතින බව අපට දැකගන්න ලැබුණා.

Discussion & Feedback