ලෝකයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන ෆෝක්ස්වැගන් (Volkswagen) සමාගම තවත් රැකියා පනස් දහසක් කප්පාදු කිරීමට තීරණය කරලා තියෙනවා. මේ පියවරත් එක්ක 2030 වසර වන විට එම සමාගමෙන් ඉවත් කෙරෙන මුළු රැකියා සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යනවා. සමාගමේ ලාභ අඩුවීම සහ චීන මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ, සමාගම මේ වගේ දැඩි තීරණයකට එළඹිලා තියෙන්නේ තමන්ගේ තරගකාරීත්වය ආරක්ෂා කරගන්නයි. විශේෂයෙන්ම චීන සමාගම්වල අඩු නිෂ්පාදන පිරිවැය සහ නව තාක්ෂණය නිසා ෆෝක්ස්වැගන් සමාගමට ලෝක වෙළඳපොළේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් බ්ලූම් පවසන්නේ, සමාගමේ අනාගතය සුරක්ෂිත කරන්න නම් මෙවැනි මූලික වෙනස්කම් අත්‍යවශ්‍ය බවයි. මේ කප්පාදුවලට කළමනාකාරීත්වයේ තනතුරු පවා ඇතුළත් වෙනවා. ඒ වගේම සමාගම තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරගන්නත්, වැඩි ඉල්ලුමක් තියෙන වාහන මාදිලි කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නත් සැලසුම් කරලා තියෙනවා. ජර්මනියේ පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලා කිහිපයක නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා වැඩි නිසා, ඒ කර්මාන්තශාලා වෙනත් අරමුණු සඳහා යොදාගැනීම ගැනත් සමාගම මේ වන විට අධ්‍යයනය කරමින් ඉන්නවා.
ෆෝක්ස්වැගන් සමාගමේ ඉතිහාසයේ සිදුවන විශාලතම ප්‍රතිව්‍යුහගත කිරීම මෙයයි. දැනට ලොව පුරා ලක්ෂ හයකට අධික සේවක පිරිසක් සේවය කරන මෙම සමාගම, තමන්ගේ ආදායම යළි ඉහළ නංවා ගැනීමට සහ ගෝලීය වෙළඳපොළේ තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීමට මේ ආකාරයෙන් දැඩි පියවර ගනිමින් ඉන්නවා. කෙසේ වෙතත්, වෘත්තීය සමිති නායකයන් පවසන්නේ මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ සේවකයන්ට සහ සමාගමට සාධාරණ විසඳුමක් ලබාගැනීමට තමන් දැඩි උත්සාහයක නිරත වන බවයි.

Discussion & Feedback