ලෝක ප්රසිද්ධ ‘ද සොප්රානෝස්’ (The Sopranos) ටෙලි කතා මාලාවේ සල්වටෝර් ‘බිග් පුසී’ බොන්පෙන්සියෙරෝ ලෙස රංගනයෙන් දායක වූ ජනප්රිය නළු වින්සන්ට් පැස්ටෝර් වයස අවුරුදු 80 දී අභාවප්රාප්ත වෙලා. ඔහුගේ වියෝව පිළිබඳ පුවතත් එක්කම හොලිවුඩයේ බොහෝ දෙනෙක් ඔහු වෙනුවෙන් ශෝකය පළ කරමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් තබා තිබෙනවා. පසුගිය සෙනසුරාදා බ්රොන්ක්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇති අතර, මරණයට හේතුව මෙතෙක් තහවුරු කර නැහැ. දින කිහිපයක සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව ඔහුගේ කළමනාකරු පවසා තිබුණා.
ඔහු සමඟ රංගනයෙන් දායක වූ ජේමි-ලින් සිග්ලර්, මයිකල් ඉම්පීරියෝලි සහ ලොරේන් බ්රැකෝ වැනි ප්රවීණ නළු නිළියන් ඔහු ගැන ඉතා ආදරයෙන් සිහිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම මයිකල් ඉම්පීරියෝලි පවසා තිබුණේ වින්සන්ට් කියන්නේ ඉතාමත් කරුණාවන්ත සහ සහෝදරයෙක් වගේ හිතවත් කෙනෙක් බවයි. ඔවුන් එකට වැඩ කරපු කාලය, විවිධ රටවල සංචාරය කරපු මතකයන් සහ ඔහු තුළ තිබුණු ඒ සතුටු සිත ගැන ඔහු ඉතා සංවේදීව සිහිපත් කර තිබුණා. ස්ටීවන් වැන් සැන්ඩ් වැනි නළුවන් පවසා තිබුණේ තවත් ආදේශ කළ නොහැකි සහෝදරයෙක් අපෙන් සමුගත්තා කියලයි.
වින්සන්ට් පැස්ටෝර් කියන්නේ රංගන ක්ෂේත්රයට විශාල ආදරයක් දක්වපු, සැමවිටම සිනහවෙන් සිටි චරිතයක්. ඔහුගේ වියෝව සොප්රානෝස් පවුලේ සැමටම ලොකු පාඩුවක් බවයි ඔවුන් පවසන්නේ. ඔහුගේ පවුලේ උදවියට සහ ඔහුට ආදරය කළ රසිකයන්ට අපේ ශෝකය ප්රකාශ කරනවා. ඔහුගේ ආත්මයට නිවන් සුව ලැබේවා කියා ප්රාර්ථනා කරමු.

Discussion & Feedback