දැනට ලෝකය පුරාම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පාලනය කිරීම සඳහා විවිධ රටවල් උනන්දුවක් දක්වනවා. මේ අතරින් වියට්නාමය ගෙන එන්න හදන අලුත්ම නීතිය ටිකක් වෙනස්. ඔවුන් හදන්නේ දරුවන්ව සමාජ මාධ්‍යවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා වෙනුවට, ඔවුන්ට එම වේදිකාවල රැඳී සිටීමට ඉඩ දෙමින්, පෝස්ට් දැමීම, කමෙන්ට් කිරීම හෝ ප්‍රතිචාර දැක්වීම වැනි දේවල් තහනම් කරන්නයි. මේ සඳහා වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ගිණුම් දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ ලියාපදිංචි කළ යුතු අතර, දරුවන් දකින දේවල් සහ ඔවුන් ගත කරන කාලය ගැන දෙමාපියන්ට වගකීමක් පැවරෙනවා. ඒ වගේම වීඩියෝ ගේම්ස් සඳහා දිනකට පැයක සීමාවක් පැනවීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.
මේ වගේ පියවරක් ගත් පළමු රට වුණේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා භාවිතය තහනම් කළා. ඕස්ට්‍රේලියාවට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රියාව, කැනඩාව සහ ඩෙන්මාර්කය වැනි රටවල් ද දරුවන්ව සයිබර් හිරිහැරවලින් සහ මානසික ගැටලුවලින් ආරක්ෂා කරගැනීම සඳහා මෙවැනි නීති හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත්, මේ නීතිවලින් දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවිය හැකි බවත්, මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු බවත් සමහර විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලෝකයම මේ වන විට දැඩි තීරණවලට එළඹෙමින් සිටින බව පැහැදිලියි.

Discussion & Feedback