ලොව පුරා අතිශය ජනප්රිය වූ ‘Village People’ සංගීත කණ්ඩායමේ ප්රධාන ගායකයා මෙන්ම නිර්මාතෘවරයෙකු වූ වික්ටර් විලීස් වයස අවුරුදු 74ක්ව තිබියදී අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු කෙටි කාලීන රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය ජූනි 30 වැනිදා මියගිය බව එම සංගීත කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුව හරහා තහවුරු කර තිබෙනවා. 1951 වසරේ ටෙක්සාස්හි උපත ලැබූ විලීස්, සංගීත ලෝකය තුළ සදා අමරණීය වූ ‘YMCA’, ‘Go West’ සහ ‘In The Navy’ වැනි ජනප්රිය ගීත රැසක් ගායනා කරමින් ලොව පුරා රසික හදවත් දිනා ගැනීමට සමත් වුණා.
විශේෂයෙන්ම ‘YMCA’ ගීතය දශක ගණනාවක් පුරා ලොව පුරා ප්රසිද්ධියට පත් වූ අතර, එය විවිධ මතභේදයන්ට මෙන්ම උත්සව අවස්ථාවන්හිදී නිතරම ඇසෙන ගීතයක් බවට පත් වුණා. වික්ටර් විලීස් 1983 වසරේදී කණ්ඩායමෙන් ඉවත් වුවත්, පසුව නීතිමය ගැටලු විසඳාගෙන 2017 වසරේදී නැවතත් කණ්ඩායම හා එක් වුණා. මෑත කාලයේදී ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ප්රියතම සංගීත කණ්ඩායමක් ලෙසද ‘Village People’ ප්රසිද්ධියට පත් වුණා. මුලදී ට්රම්ප් තම ගීත භාවිතා කිරීමට විරුද්ධ වුවත්, පසුව එම තීරණය වෙනස් කරමින් පසුගිය වසරේ පැවති ට්රම්ප්ගේ දෙවන ජනාධිපති සමාරම්භක උත්සවයේදී ඔවුන් ගීත ගායනා කිරීමද විශේෂත්වයක් වුණා. ඔහුගේ වියෝව සංගීත ලෝලීන් බොහෝ දෙනෙකුට කම්පනයක් ගෙන දෙන පුවතක් වී තිබෙනවා.

Discussion & Feedback