දැනට ලෝකයේ අතිශය ජනප්රිය වී තිබෙන සිරස් වීඩියෝ (Vertical Video) කලාව මේ වසරේදී ඩොලර් බිලියන 150ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂත්වය වන්නේ චීනයෙන් පිටත පමණක් මෙම අගය වාර්තා වීමයි. ‘Owl & Co’ ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙය 42%ක විශාල වර්ධනයක්. අද වන විට TikTok, Instagram Reels, Facebook Reels සහ YouTube Shorts වැනි වේදිකා හරහා සිරස් වීඩියෝ යනු හුදෙක් විනෝදාස්වාදයක් පමණක් නොව, ප්රබල ව්යාපාරික මාධ්යයක් බවට පත්වෙලා තියෙනවා.
මෙම ආදායමෙන් 94%ක්ම උත්පාදනය වෙන්නේ Meta, ByteDance සහ YouTube වැනි දැවැන්ත සමාගම් හරහා බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම දැන්වීම් ප්රචාරණය හරහා ඩොලර් බිලියන 131ක් උපයා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඒ වගේම කෙටි නාට්ය (Microdrama) කලාවත් මේ වන විට වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, කෘත්රිම බුද්ධිය (AI) භාවිතය නිසා කෙටි නාට්ය නිෂ්පාදනය පෙරට වඩා පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, දැන් දැන් බොහෝ දෙනා මුදල් ගෙවා නාට්ය නැරඹීමට වඩා නොමිලේ දැන්වීම් සහිතව වීඩියෝ නැරඹීමට වැඩි කැමැත්තක් දක්වන බවත් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.
‘Owl & Co’ හි නිර්මාතෘ හර්නන් ලෝපෙස් පවසන පරිදි, සිරස් වීඩියෝ කියන්නේ තවදුරටත් විකල්පයක් නෙවෙයි, එය අනිවාර්ය අංගයක් බවට පත්වෙලා. ප්රේක්ෂකයන් වැඩිපුරම කාලය ගත කරන්නේ මෙම සිරස් වීඩියෝ වේදිකාවල නිසා, ආයෝජකයන් සහ නිර්මාණකරුවන් මේ දෙසට වැඩිපුර නැඹුරු වෙමින් ඉන්නවා. ඉදිරියේදී මෙම ක්ෂේත්රය තවත් බොහෝ වෙනස්කම්වලට ලක්වනු ඇති බවයි තාක්ෂණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback