ලෝක ප්රකට වැනීසිය ජාත්යන්තර සිනමා උළෙල ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී, පලස්තීනයට සහය දක්වමින් ප්රබල පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින විවෘත ලිපියක් මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. රොජර් වෝටර්ස්, ඇනී අර්නෝ වැනි ලෝක ප්රසිද්ධ කලාකරුවන් රැසක් අත්සන් තබා ඇති මෙම ලිපිය මගින්, ඊශ්රායල රජය සමඟ පවතින සබඳතා අත්හිටුවන ලෙසත්, සිනමා කර්මාන්තය තුළ වැඩි විනිවිදභාවයක් ඇති කරන ලෙසත් වැනීසිය සිනමා උළෙල සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ගාසා තීරයේ සිදුවන මානුෂීය අර්බුදය හමුවේ නිහඬව නොසිට, පලස්තීන ජනතාව වෙනුවෙන් හඬක් නගන ලෙස ‘Venice4Palestine’ සංවිධානය මෙම ඉල්ලීම සිදු කරන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතකයි.
සිනමා උළෙලේ නිල වැඩසටහන් අතරට පලස්තීන සිනමා නිර්මාණ කිහිපයක්ම ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. විශේෂයෙන්ම ගාසා තීරයේ සිදුවන සමූල ඝාතන සහ අර්බුද පිළිබඳව කතා කරන චිත්රපට පවා මෙවර ප්රදර්ශනය වීමට නියමිතයි. උළෙලේ සමාන්තර වැඩසටහනක් ලෙස ‘ගාසා තීරය තවමත් දැවෙමින් තිබේ’ යන මැයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තියෙනවා. කෙසේ වෙතත්, වැනීසිය සිනමා උළෙල මෙතෙක් දේශපාලනික වශයෙන් මධ්යස්ථ ස්ථාවරයක සිටින බව පවසමින් නිල ප්රකාශයක් සිදු කර නැහැ. කෙසේ වුවත්, ලෝකයේ ප්රබලම සිනමා උළෙලක් වන මෙහිදී පලස්තීන අර්බුදය පිළිබඳව ඇති වී තිබෙන මෙම කතාබහ ඉදිරි දිනවලදී තවත් උණුසුම් වනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback