ශ්රී ලංකාවේ වාහන ආනයන බදු මත පනවා තිබූ සියයට 50ක අතිරේක බදු ගාස්තුව මේ වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර මෙම බදු සහනය අගෝස්තු 15 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණත්, එය දීර්ඝ කිරීමත් සමඟ මෙරට වාහන වෙළඳපොළේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් සුසුකි වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ 5කින් පමණත්, ටොයෝටා රයිස් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණත් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව හොන්ඩා වේසල්, ටොයෝටා ප්රාඩෝ සහ ලෑන්ඩ් කෲසර් වැනි වාහනවල මිල රුපියල් ලක්ෂ 15 සිට ලක්ෂ 50 දක්වා ඉහළ යා හැකි බව එම සංගමය අනතුරු අඟවනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා සඳහන් කළේ, දැනට ප්රදර්ශනාගාරවල ඇති වාහන මැයි 15ට පෙර විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කළ ඒවා බැවින් ඒවාට මෙම බදු බලපාන්නේ නැති බවයි. කෙසේ වෙතත්, මැයි 15න් පසු විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කරන වාහන සඳහා මෙම අතිරේක බදු අය කෙරෙන නිසා ඉදිරියේදී වාහන මිල ගණන්වල විශාල වෙනසක් දැකගන්නට ලැබෙනවා. මෙවැනි බදු ක්රම වෙනුවට රජය විසින් ස්ථාවර බදු ප්රතිපත්තියක් හෝ වෙනත් විකල්ප ක්රමවේදයක් අනුගමනය කරන්නේ නම් වෙළඳපොළේ පවතින අවිනිශ්චිතතාවය මඟහරවා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Discussion & Feedback