එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් අතරතුර ඇමරිකානු නියෝජිත පිරිසක් සභාවෙන් පිටව යාමේ පුවතක් මේ වන විට ලෝක දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. මේ සිදුවීමට මුල් වුණේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ගත් තීරණයට ප්‍රංශය දැක්වූ විරෝධයයි. ඇමරිකාව, උතුරු කොරියාව සහ රුසියාව සමඟ එක්ව මෙම පත්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රංශය ඇමරිකාව විවේචනය කර තිබුණා. ඇමරිකාව තවදුරටත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින රටක් නොවන බවට ප්‍රංශය කළ ප්‍රකාශය ඇමරිකානු නියෝජිතයන්ගේ දැඩි කෝපයට හේතු වුණා.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය පිළිබඳ සාකච්ඡා කෙරෙන හදිසි රැස්වීමක් අතරතුර ප්‍රංශ තානාපතිවරයා අදහස් දක්වද්දී ඇමරිකානු නියෝජිතයන් සභාවෙන් පිටව ගියේ සිය විරෝධය පළ කරමින්. ප්‍රංශය අනුගමනය කරන මේ අගෞරවනීය පිළිවෙත වෙනස් කරන තුරු මෙවැනි විරෝධතා දිගටම පවත්වන බව ඇමරිකානු පාර්ශ්වය පවසනවා. වෝල්කර් ටර්ක්ගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකාව අතෘප්තිමත් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවතින සබඳතා සහ මූල්‍ය ආධාර සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවත් ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත්, ප්‍රංශය පවසන්නේ ටර්ක් යනු ඉතා අපක්ෂපාතීව කටයුතු කළ නිලධාරියෙක් බවයි. මේ ගැටුම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල් අතර පවතින මතභේද තවත් උග්‍ර කර තිබෙනවා.

Discussion & Feedback