ඇමරිකානු හමුදාව විසින් කැරිබියන් සහ පැසිෆික් කලාපවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන සිදුකරන ගුවන් ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාවකින් හෙළිවෙලා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇමරිකාව විසින් මෙවැනි ප්‍රහාර 68ක් සිදුකර ඇති අතර, ඉන් පුද්ගලයින් 220කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ ප්‍රහාර මගින් සිදුකර ඇත්තේ නීති විරෝධී මනුෂ්‍ය ඝාතන බවත්, මේවා මානව වර්ගයාට එරෙහි අපරාධ ගණයට වැටිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් සෝල් පෙන්වා දෙනවා.
ඇමරිකානු බලධාරීන් පවසන්නේ මෙම මෙහෙයුම් ‘මත්ද්‍රව්‍ය ත්රස්තවාදීන්’ මර්දනය කිරීම සහ තම රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකරන බවයි. නමුත්, ප්‍රහාරයට ලක්වන යාත්‍රා සැබැවින්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බවට කිසිදු නිශ්චිත සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කර නැහැ. ජාත්‍යන්තර නීතියට අනුව, ඇමරිකාවට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් එල්ල නොවූ තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රහාර දියත් කිරීම ආත්මාරක්ෂාව ලෙස සැලකිය නොහැකි බවයි විශේෂඥයින් පවසන්නේ. මේ සම්බන්ධයෙන් ලතින් ඇමරිකානු රටවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබුණත්, ඇමරිකාව තවමත් සිය ‘සදර්න් ස්පියර්’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ පිළිබඳව ඇමරිකානු රජයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.

Discussion & Feedback