ඇමරිකාවේ නාසා ආයතනය, අධිකරණ දෙපාර්තමේන්තුව සහ සෙනෙට් සභාව වැනි ප්රධාන පෙළේ ආයතන ඉලක්ක කරගෙන සිදුකළ දැවැන්ත සයිබර් ප්රහාර මාලාවකට සම්බන්ධ චීන බොට්නෙට් (botnet) ජාලයක පාලනය ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය විසින් අත්පත් කරගෙන තිබෙනවා. මෙම ජාලය ‘QTFY’ නමින් හඳුන්වන චීන සමාගමක් විසින් මෙහෙයවා ඇති අතර, ඔවුන් දහස් ගණනක් වූ අන්තර්ජාලයට සම්බන්ධ උපාංග ආක්රමණය කරමින් රහසිගතව මෙම ප්රහාර දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. 2018 වසරේ සිට ක්රියාත්මක වූ මෙම ජාලය හරහා ඇමරිකානු රෝහල්, ආරක්ෂක අංශ සහ රජයේ ආයතනවල තොරතුරු සොරකම් කිරීමට උත්සාහ දරා තිබෙනවා.
මෙම බොට්නෙට් ජාලය මගින් හැකර්වරුන්ගේ නීති විරෝධී ක්රියාකාරකම් සැඟවීමට සහ ඒවා හඳුනා ගැනීම අපහසු කිරීමට කටයුතු කර ඇති බවයි ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත්, එෆ්.බී.අයි ආයතනය විසින් මෙම ජාලයට අයත් ඩොමේන් (domains) අත්අඩංගුවට ගැනීමත් සමඟ එම බොට්නෙට් ජාලයේ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා. ලුමන් (Lumen) වැනි ජාල ආරක්ෂණ ආයතනවල සහය ඇතිව සිදුකළ මෙම මෙහෙයුම මගින් ඉදිරියේදී සිදුවිය හැකි තවත් විශාල සයිබර් තර්ජන රැසක් වළක්වා ගැනීමට ඇමරිකානු බලධාරීන්ට හැකි වුණා. චීන රජයේ අනුග්රහය ලබන බවට සැක කෙරෙන මෙම කණ්ඩායම සෙනෙට් සභාව වැනි ඉහළ ආරක්ෂාවක් සහිත ආයතන පවා ඉලක්ක කර ගැනීම ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback