ඇමරිකා එක්සත් ජනපදයේ ජල සැපයුම් සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ඉලක්ක කර ගනිමින් මේ දිනවල බරපතළ සයිබර් ප්‍රහාර මාලාවක් සිදුවෙමින් පවතින බව එරට ආරක්ෂක අංශ අනතුරු අඟවනවා. විශේෂයෙන්ම කර්මාන්ත, බලශක්තිය සහ ජල පද්ධති පාලනය සඳහා යොදා ගන්නා ‘Siemens S7’ වර්ගයේ උපකරණ හැකර්වරුන් විසින් ඉලක්ක කරගෙන තිබෙනවා. මේ ප්‍රහාර සඳහා හැකර්වරුන් දැන් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ඉතා දක්ෂ ලෙස යොදා ගන්නා බවයි එරට සයිබර් ආරක්ෂක ආයතනය වන CISA, FBI සහ ජාතික ආරක්ෂක ඒජන්සිය ඒකාබද්ධව පවසන්නේ. ඔවුන් පවසන පරිදි, යාවත්කාලීන නොකළ මෘදුකාංග සහිත දුර්වල පද්ධති හඳුනා ගැනීමට සහ ඒවාට පහර දීමට අවශ්‍ය ස්ක්‍රිප්ට් නිර්මාණය කිරීමට හැකර්වරුන් AI තාක්ෂණය උපයෝගී කර ගන්නවා.
මෙම ප්‍රහාර හේතුවෙන් ජල පද්ධතිවල ක්‍රියාකාරිත්වය ඇනහිටීම, උපකරණවලට හානි සිදුවීම සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීම වැනි බරපතළ තත්ත්වයන් ඇති විය හැකි බව බලධාරීන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පවතින යටිතල පහසුකම් මේ නිසා වැඩි අවදානමකට ලක්ව තිබෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති මෙම උපකරණ වහාම විසන්ධි කරන ලෙසත්, ආරක්ෂක පියවරයන් දැඩි කරන ලෙසත් CISA දිගින් දිගටම උපදෙස් ලබා දෙනවා. මෑත කාලයේදී ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායම් විසින් ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවල ජල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල කළ බවටද වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ තීරණාත්මක යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීම එරට බලධාරීන්ට විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

Discussion & Feedback