ඇමරිකානු රජය විසින් වසර 47ක් පුරා පවත්වාගෙන ආ සිරියාව ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ තීරණයත් සමඟ සිරියාවට එරෙහිව පනවා තිබූ දැඩි ආර්ථික සම්බාධක ලිහිල් වන අතර, එරට ආර්ථිකය යළි ගොඩනැගීමට සහ විදේශ ආයෝජන දිරිමත් කිරීමට විශාල අවස්ථාවක් ලැබෙනු ඇති බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසන්නේ. සිරියාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් සම්පූර්ණයෙන්ම දුරස් වී ඇති බවට ඇමරිකාව පිළිගැනීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
සිරියාවේ වත්මන් ජනාධිපති අහමඩ් අල්-ෂාරා සහ ඔහුගේ නායකත්වයෙන් යුත් හයාත් තහ්රීර් අල්-ෂාම් සංවිධානය ද ඇමරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්. මීට පෙර අල්-කයිඩා සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ මෙම කණ්ඩායම, පසුගිය කාලයේදී බෂාර් අල්-අසාද් පාලනය පෙරළා දැමීමට මූලිකත්වය ගත්තා. ඇමරිකාව බලාපොරොත්තු වන්නේ රුසියාවේ හෝ චීනයේ බලපෑමෙන් සිරියාව මුදවාගෙන තමන්ගේ කඳවුරට සමීප කර ගැනීමටයි. කෙසේ වෙතත්, සිරියාවේ තවමත් පවතින දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි රටවල් සමඟ පවතින ගැටුම් හේතුවෙන් මෙම පියවර කෙතරම් සාර්ථක වේවිද යන්න තවමත් අවිනිශ්චිතයි.
මෙම තීරණය සිරියාවේ අනාගතයට ඉතා වැදගත් බව එරට විදේශ අමාත්‍ය අසාද් හසන් අල්-ෂයිබානි පවසනවා. වසර දශක ගණනාවක හුදකලාවකින් පසු සිරියාවට යළිත් ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වීමට ලැබුණු මෙම අවස්ථාව ඓතිහාසික පියවරක් ලෙසයි ඔහු හඳුන්වන්නේ. මේ වන විට ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලෙස ඇමරිකානු ලැයිස්තුවේ ඉතිරිව ඇත්තේ කියුබාව, උතුරු කොරියාව සහ ඉරානය පමණක් වීම ද කැපී පෙනෙන කරුණක්.

Discussion & Feedback