දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සුළුතරයට එරෙහිව වෙනස්කම් සිදු කරන බවට චෝදනා කරමින්, එරට රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුට ඇමරිකාව විසින් නව වීසා තහනමක් පනවා තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසන්නේ, දකුණු අප්‍රිකානු රජය විසින් අදාළ ජාතිවාදී ගැටලු විසඳීමට නිසි පියවරක් නොගැනීම නිසා මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන්ම වන්දි රහිතව ඉඩම් අත්පත් කර ගැනීම සහ සුදු ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි කලකිරීමකින් පසුවන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ තමන් කිසිදු ජාතියකට එරෙහිව වෙනස්කම් සිදු නොකරන බවත්, ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ ඓතිහාසික අසාධාරණයන් නිවැරදි කිරීමට බවත්ය. සුදු ජාතිකයන්ට එරෙහිව ජන සංහාරයක් සිදුවන බවට ඇමරිකාව නගන චෝදනා දකුණු අප්‍රිකාව හඳුන්වන්නේ පදනම් විරහිත බොරුවක් ලෙසයි. එරට පවතින අපරාධ සංඛ්‍යාලේඛනවලින් ද එවැනි විශේෂිත ඉලක්ක කිරීමක් තහවුරු නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.
දැනටමත් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතා පහළ මට්ටමක පවතින අතර, ඇමරිකාව අනතුරු අඟවා ඇත්තේ මෙය ආරම්භය පමණක් බවයි. ඉදිරියේදී තවත් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා. මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු රජය තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය දෙරටේ ආර්ථික සහ දේශපාලන සබඳතාවලට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback