ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ ඉලක්ක කිහිපයක් වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා. හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පසුව මෙම තත්ත්වය උග්‍ර අතට හැරී ඇති බවයි වාර්තා වෙන්නේ. ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය පවසන පරිදි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉරානයේ දකුණු සහ ගිනිකොනදිග ප්‍රදේශවල පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන අතර, විශේෂයෙන්ම කෙෂ්ම් දූපත සහ බන්දාර් අබ්බාස් වරාය ආශ්‍රිතව මෙම ප්‍රහාරවල බලපෑම දැකගන්න පුළුවන්.
මේ අතර, සිස්ටන් සහ බලුචිස්තාන් පළාතේ කොනාරක් සහ චබාහාර් ප්‍රදේශවලටත් ප්‍රහාර එල්ල වී ඇති බව බලධාරීන් තහවුරු කර තිබෙනවා. පසුගිය දින කිහිපයේම දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වී තිබුණේ ඉරාන හමුදා විසින් මුහුදු මාර්ගවල බිම් බෝම්බ ඇටවීමට උත්සාහ කිරීමත් සමඟයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව ප්‍රහාර එල්ල කළ අතර, ඉරානය ද ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළා. මේ වන විට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් අනතුරු අඟවා සිටින්නේ, ගල්ෆ් කලාපයෙන් තෙල් අපනයනය කිරීමට ඇමරිකාව බාධා කරන්නේ නම්, කිසිවෙකුටත් තෙල් අපනයනය කිරීමට ඉඩ නොතබන බවයි. ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින මෙම උණුසුම්කාරී වාතාවරණය, කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වේද යන්න පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි අවධානයකින් පසුවෙනවා.

Discussion & Feedback