අමෙරිකානු කොංග්රස් මන්ත්‍රී රෝ ඛන්නා මහතා පසුගියදා බටහිර ඉවුරේ සංචාරයක නිරත වෙද්දී සන්නද්ධ ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් විසින් ඔහුව මිනිත්තු 90ක කාලයක් රඳවාගෙන සිටීමේ පුවතක් වාර්තා වෙනවා. ඔහු සිය කණ්ඩායම සමඟ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී, ඇමරිකාවේ නිෂ්පාදිත M4 රයිෆල් අතැති පිරිසක් ඔවුන්ව වටකර මාර්ගය අවහිර කර තිබෙනවා. ඛන්නා පවසන විදිහට, පසුව එම ස්ථානයට පැමිණි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවා ක්‍රියා කර තිබෙන්නේ අමෙරිකානු නියෝජිතයන්ට සහය දෙනවා වෙනුවට එම සන්නද්ධ පිරිසට පක්ෂපාතීවයි.
මෙම සිදුවීම සිදුවුණේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් විනාශ කර දැමූ ‘කීර්බෙට් සනුටා’ ගම්මානයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ඛන්නා ගිය අවස්ථාවේදීයි. එහි තිබූ පාසල සහ නිවාස පවා සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන ආකාරය තමන් දැකගත්තා බව ඔහු පවසනවා. අමෙරිකානු තානාපති කාර්යාලයට කළ දැනුම්දීමකින් පසුව පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔවුන්ව මුදාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් එම ස්ථානයට පැමිණ පදිංචිකරුවන් විසුරුවා හැර වාහනවලට ගමන් කිරීමට ඉඩ ලබා දුන් බවයි. ජාත්‍යන්තර නීතියට අනුව මෙම ජනාවාස ඉදිකිරීම් නීති විරෝධී බවත්, මේ වන විට ලක්ෂ හතකට අධික පිරිසක් මෙලෙස බටහිර ඉවුරේ පදිංචි වී සිටින බවත් වාර්තා වෙනවා.

Discussion & Feedback