ඇමරිකාවේ අත්ලාන්තා නුවර පදිංචි සැමුවෙල් ටියුනික් නමැති පුද්ගලයෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ ඔහු ඇමරිකාවට ඇතුළු වන අවස්ථාවේදී දේශසීමා නිලධාරීන්ට ලබා දුන් මුරපදය මගින් ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ සියලුම දත්ත ස්වයංක්‍රීයව මකා දැමීම හේතුවෙන්. මෙය ඇමරිකානු ඉතිහාසයේ මෙවැනි ආකාරයේ ‘ඩියුරස්’ (duress) හෙවත් බලහත්කාරී මුරපදයක් භාවිතා කර දත්ත විනාශ කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති පළමු අවස්ථාව ලෙස සැලකෙනවා. ඔහු භාවිතා කර ඇත්තේ GrapheneOS නම් විශේෂ ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් බවයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ටියුනික්ගේ නීතිඥයින් පවසන්නේ දේශසීමා නිලධාරීන් කිසිදු වරෙන්තුවක් නොමැතිව ඔහුගේ දුරකථනය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවයි. ඔවුන් පවසන පරිදි, ටියුනික්ව රඳවා තබා ගත් අවස්ථාවේදී නීතිඥයෙකු හමුවීමට ඉඩ ලබා දී නැති අතර, ඔහුව පරීක්ෂාවට ලක් කර ඇත්තේ ඔහු සම්බන්ධ වී සිටින පරිසර හිතකාමී ව්‍යාපාරයක් හේතුවෙන් බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු රජය පවසන්නේ දේශසීමාව හරහා ඇතුළු වීමට පෙර ඕනෑම අයෙකුගේ ඉලෙක්ට්‍රොනික උපාංග පරීක්ෂා කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි. මේ වන විට ටියුනික් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරමින් නීතිමය සටනක නිරත වෙනවා. මෙම සිදුවීම තාක්ෂණික ලෝකයේ සහ පුද්ගලිකත්ව අයිතීන් පිළිබඳව විශාල කතාබහක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.

Discussion & Feedback