පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය දිනවල දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී නියමිත බරට වඩා අඩු බරකින් යුත් පාන් අලෙවි කළ ස්ථාන 54ක් සොයාගෙන තියෙනවා. සැප්තැම්බර් පළමුවැනිදා සිට තුන්වැනිදා දක්වා කාලය තුළ බේකරි සහ සිල්ලර වෙළඳසැල් 118ක් පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන අයුරින් බර අඩු පාන් අලෙවි කිරීම් රැසක් අනාවරණය වුණා. මීට අමතරව, වෙළඳසැල් 76ක පාන්වල බර ප්‍රදර්ශනය කර නොතිබූ අතර, තවත් ස්ථාන 65ක පාන්වල මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබීමත් විශේෂත්වයක්.
මෙම වැටලීම්වලදී හෙළි වුණේ බොහෝ බේකරිවලින්ම බර අඩු පාන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කරන බවයි. ඒ අනුව, බේකරි 81ක් පරීක්ෂා කරමින් සැපයුම් දාමය ඔස්සේ පරීක්ෂණ පුළුල් කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත්තා. නීතිරීතිවලට අනුව සම්පූර්ණ පාන් ගෙඩියක් ග්‍රෑම් 450ක් සහ අඩක් ග්‍රෑම් 225ක් විය යුතුයි. වැරදි සිදුකළ බේකරි හිමියන්ට තම නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කරන ලෙස උපදෙස් දී ඇති අතර, ඉදිරියටත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ඔවුන් පවසනවා.
ඔබටත් මෙවැනි අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය නම්, කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඒ පිළිබඳ දැනුම් දෙන්න පුළුවන්. පාරිභෝගිකයන් ලෙස ඔබ මිලදී ගන්නා භාණ්ඩවල බර සහ මිල පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වීම ඉතා වැදගත්.

Discussion & Feedback