ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් සමාගමක් වන හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. සමාගම සතු වත්කම් සහ ලැබිය යුතු ආදායම්වලට වඩා ඔවුන්ගේ ණය බර ඉහළ යාම නිසා, තවදුරටත් ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි බව අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ හේතුව නිසා සමාගම සහ එහි අනුබද්ධ ආයතන වන හෙලා ක්ලෝදින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් යන ආයතන වසා දැමීම සඳහා වාණිජ මහාධිකරණය වෙත අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම තීරණය ගැනීමට පෙර සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විකල්ප රැසක් ගැන අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ආයෝජන අවස්ථා සොයා බැලීම සහ ව්‍යාපාරය යළි ගොඩනැගීමට අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් උත්සාහ කළත්, ඒ කිසිවක් සාර්ථක වී නැහැ. අවසානයේදී සේවකයින්ට සහ ණය හිමියන්ට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා නීත්‍යානුකූලව සමාගම වසා දැමීමට (Winding up) තීරණය කර තිබෙනවා. අගෝස්තු 04 වැනිදා ගත් මෙම තීරණයට අනුව, අගෝස්තු 05 වැනිදා වන විට අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.
මෙම තත්ත්වය ඇඟලුම් ක්ෂේත්රයේ රැකියා කරන දහස් ගණනක් සේවකයින්ට සහ ආයෝජකයින්ට විශාල බලපෑමක් එල්ල කරන කාරණාවක්. සමාගම පවසන්නේ තමන් සතු සියලුම විකල්ප අවසන් වූ පසු සහ ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම වාණිජමය වශයෙන් කළ නොහැකි බව තහවුරු වූ පසු පමණක් මෙම කනගාටුදායක තීරණය ගත් බවයි.

Discussion & Feedback