මොනාකෝ නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකදී සිදුවූ බෝම්බ ප්රහාරයක ප්‍රධාන සැකකාරිය ලෙස 39 හැවිරිදි යුක්රේන ජාතික ඇනස්ටේෂියා බෙරෙසොව්ස්කා නම් කාන්තාවක් හඳුනාගෙන තිබෙනවා. ඇය පිරිමි වේශයෙන් සැරසී මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි මොනාකෝ නියෝජ්‍ය රජයේ නීතිඥවරයා පවසන්නේ. මෙම ප්‍රහාරයෙන් යුක්රේන සම්භවයක් ඇති ධනවත් ව්‍යාපාරිකයෙකු වන වැඩිම් යර්මොලෙව්, ඔහුගේ බිරිඳ සහ 13 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සැකකාරිය බෝම්බය තබා පලාගොස් පසුව මෝටර් රථයකින් ජර්මනිය බලා ගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
මේ වන විට ඉන්ටර්පෝල් ආයතනය ඇය අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇයගේ දකුණු අතේ සර්පයෙකුගේ හැඩයට සමාන පච්චයක් ඇති බවත්, ඇය ජර්මන් භාෂාව කතා කිරීමට දන්නා බවත් පොලිසිය පවසනවා. ජර්මනියේ හෙසේ ප්‍රාන්තයේ ඇය නවාතැන් ගෙන සිටි නිවසක් පොලිසිය විසින් පරීක්ෂා කර ඇති අතර, එහි තිබී වැදගත් සාක්ෂි කිහිපයක් සොයාගෙන තිබෙනවා. මොනාකෝ කුමරු ඇල්බට් මෙම සිදුවීම ඉතා දරුණු අපරාධයක් ලෙස හෙළා දැක ඇති අතර, සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් සහයෝගය ලබා ගනිමින් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Discussion & Feedback