2022 වසරේදී බෝල්ටික් මුහුද යටින් දිවෙන රුසියාවේ සිට ජර්මනිය දක්වා වූ නෝඩ් ස්ට්‍රීම් ගෑස් නල මාර්ගවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජර්මානු බලධාරීන් විසින් යුක්රේන ජාතිකයෙකුට එරෙහිව නිල වශයෙන් චෝදනා ගොනු කර තිබෙනවා. සර්හී කේ. ලෙස හඳුන්වන මෙම පුද්ගලයා, පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවමින් මෙම දැවැන්ත යටිතල පහසුකම් විනාශ කිරීමට මූලිකත්වය ගත් බවටයි ජර්මානු මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය වසරේ ඉතාලියේදී අත්අඩංගුවට ගත් මොහුව පසුව ජර්මනියට පිටුවහල් කර ඇති අතර, ඔහු තමන් මෙම සිදුවීමට සම්බන්ධ නැති බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මෙම ප්‍රහාරය හේතුවෙන් බෝල්ටික් මුහුදට විශාල වශයෙන් මීතේන් වායුව මුදාහැරුණු අතර, බිලියන ගණනක් වටිනා නල මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. යුක්රේනය මෙම සිදුවීමට තමන් සම්බන්ධ නැති බව පවසමින් සිටියත්, මෙම නඩු පැවරීම ජර්මනිය සහ යුක්රේනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට යම් බලපෑමක් ඇති කළ හැකි බවයි විචාරකයින් පවසන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය පිටුපස කිසිදු රාජ්‍යයක සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. මේ වන විට මෙම සිද්ධියට අදාළව තවත් යුක්රේන ජාතිකයෙකු පෝලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ජර්මානු බලධාරීන් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා.

Discussion & Feedback