යුක්රේනයේ පවතින යුද වාතාවරණය හමුවේ එරට තැපැල් සේවය හුදෙක් ලිපි බෙදාහරින ආයතනයකට වඩා ඔබ්බට ගිය ජීවනාලියක් බවට පත්වෙලා. යුක්රේන තැපැල් සේවයේ ප්‍රධානී ඉගෝර් ස්මෙලියන්ස්කි දිනපතාම සිතියම් දෙස බලමින් තම සේවකයින්ව අවදානම් සහිත ප්‍රදේශවලට යවන්නේ දැයි තීරණය කරන්නේ ඉතාමත් ප්‍රවේශමෙන්. මේ සේවකයින් හුදෙක් තැපැල් බෙදන්නන් පමණක්ම නෙවෙයි; ඔවුන් දුර බැහැර ගම්මානවල ජීවත් වන වැඩිහිටියන්ට අවශ්‍ය විශ්‍රාම වැටුප්, ආහාර සහ බෙහෙත් හේත් පවා රැගෙන යන්නේ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වීමේ දැඩි අවදානම මැදයි. මේ නිසාම රුසියානු හමුදා ඉලක්ක කරගෙනම තැපැල් වාහන සහ කාර්යාලවලට ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වෙන්නේ.
කැටරිනා මැරිනිච් වැනි තැපැල් සේවිකාවන් තම පෞද්ගලික ජීවිතයේ දුක්ගැනවිලි පසෙකලා, යුද පෙරමුණට ආසන්න ගම්මානවල ජනතාව වෙනුවෙන් මේ සේවය ඉටු කරන්නේ විශාල කැපවීමකින්. ඇතැම් විට තැපැල් වාහනයක් ගමකට ඇතුළු වන විට එය ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබුණත්, තමන් එනතුරු බලා සිටින අසරණ ජනතාව වෙනුවෙන් ඔවුන් දිගටම මේ සේවය පවත්වාගෙන යනවා. 2022 වසරේ සිට මේ දක්වා තැපැල් සේවකයින් 50කට වැඩි පිරිසක් සිය රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබීමෙන් පෙනී යන්නේ ඔවුන් මුහුණ දෙන අභියෝගයේ තරමයි. කෙසේ වෙතත්, යුක්රේනයේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය දේ සපයන මේ තැපැල් සේවය අද වන විට එරට ජනතාව එකට රඳවා තබා ගන්නා ප්‍රබල සාධකයක් බවට පත්වෙලා.

Discussion & Feedback