යුක්රේනයේ නීතිපති රුස්ලාන් ක්‍රව්චෙන්කෝ හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ රට තුළ ක්‍රියාත්මක වූ නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන (call centres) ජාලයකට සම්බන්ධ දූෂණ චෝදනා හේතුවෙන්. යුක්රේන දූෂණ විරෝධී ආයතන විසින් ඔහුගේ කාර්යාලය පරීක්ෂා කිරීමෙන් පසු හෙළි වී ඇත්තේ, නීතිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් මුදල් විශුද්ධිකරණ ජාලයක් ක්‍රියාත්මක වී ඇති බවයි. මෙම ජාලය මගින් දුරකථන වංචා සිදුකරන මධ්‍යස්ථාන ආරක්ෂා කරමින් විශාල වශයෙන් මුදල් උපයා ඇති අතර, එම මුදල් දේපළ සහ ස්වර්ණාභරණ මිලදී ගැනීමට යොදාගෙන තිබෙනවා.
තමාව දේශපාලන ගැටුම් සඳහා මෙවලමක් ලෙස යොදා ගැනීමට ඉඩ නොදෙන බව පවසමින් ක්‍රව්චෙන්කෝ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නත්, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතළයි. යුක්රේනය රුසියාව සමඟ යුද්ධයක නිරතව සිටියදී පවා ජනාධිපති සෙලෙන්ස්කිගේ සමීපතමයන් සම්බන්ධයෙන් මෙවැනි දූෂණ චෝදනා නිරන්තරයෙන්ම වාර්තා වෙනවා. යුරෝපා සංගමයට එක්වීමට නම් දූෂණයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වී තිබුණත්, රට තුළ පවතින මෙම ක්රමික පාලන අර්බුදය තවමත් විසඳී නැහැ.
සෙලෙන්ස්කිගේ රජයේ ඉහළම තලයේ සිදුවන මෙවැනි දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් දැයි ප්‍රශ්න කළ යුතු බව හිටපු ආරක්ෂක අමාත්‍යවරයා පවා මෑතකදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පෞද්ගලිකව දූෂණවලට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වුවත්, රජයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වන මෙවැනි සිදුවීම් යුක්රේනයේ දේශපාලන ස්ථාවරත්වයට විශාල තර්ජනයක් වී තිබෙනවා.

Discussion & Feedback